පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

General discussions. (පොදු සාකච්ඡා.)
Post Reply
lalantha
Posts: 9
Joined: Sat Mar 17, 2018 11:28 am
Name: Lalantha

පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by lalantha » Sun Apr 01, 2018 5:18 am

ආයතන යාන්ත්‍රනයේදී මුලින් හට ගන්නේ ස්පර්ශයද නැතහොත් වේදනාවද?

Kamal
Posts: 9
Joined: Thu Mar 15, 2018 11:41 pm
Name: Kamal Wickramanayake

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by Kamal » Mon Apr 09, 2018 5:24 pm

පින්වත් ලලන්ත,

පටිච්චසමුප්පාද වශයෙන් ඵස්සපච්චයා වෙදනා යැයි කියනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙදනාව වේ යැයි කීවාට මේ දෙකෙන් එකක් මුලින් හට ගනී, අනෙක ඉන් පසුව හට ගනී යැයි ධර්මයේ සඳහන්ව ඇති බවක් මම දැක නැහැ. වෙදනාවෙන් වෙන්ව ස්පර්ශයක් හෝ ස්පර්ශයෙන් වෙන්ව වෙදනාවක් කෙසේ පනවන්න දැයි හිතීම මට නම් ගැටලු සහගතයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ මූලපණ්ණාසකයේ චූළයමකවග්ගයේ මහාවෙදල්ල සූත්‍රයේ (689 පුටුවේ) මෙසේ සඳහන්ව තිබෙනවා:
9. “ඇවැත්නි, යම් වෙදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද: යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨ වෙද්ද? නොහොත් අසංසට්ඨ වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”

ඇවැත්නි, යම් වෙදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (වෙදනාව) යම් අරමුණක් විඳී ද, (සංඥාව) ඒ අරමුණ හඳුනයි. (සංඥාව) යම් අරමුණක් හඳුනා ද, (විඥානය ද) ඒ අරමුණ (විඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. නොසසට නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
එහි ස්පර්ශය වචනයෙන් දැක්වෙන්නේ නැහැ. එනමුත් අභ්‍යන්තර ආයතනයත්, බාහිර ආයතනයත්, විඥානයත් යන තුන් දහමුන්ගේ එක්වීම ස්පර්ශය ලෙස කීමේදී සඳහන් වන විඥානය එහි දැක්වෙනවා. එහි වෙදනාව ගැන ද කියැවෙනවා. ඉතින් ඒ සඳහන අනුව ස්පර්ශය සහ වෙදනාව වෙන් වෙන්ව දක්වන්න බැරි බව වටහා ගන්න පුළුවන්.

තවද මිලින්ද ප්‍රශ්නයේ (සිංහල, පාලි, ඉංග්‍රීසි) මෙසේ සඳහන්ව තිබෙනවා:
රාජා ආහ ‘‘භන්තෙ නාගසෙන, සක්කා ඉමෙසං ධම්මානං එකතොභාවගතානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං ‘අයං ඵස්සො, අයං වෙදනා, අයං සඤ්ඤා, අයං චෙතනා, ඉදං විඤ්ඤාණං, අයං විතක්කො, අයං විචාරො’ති’’? ‘‘න සක්කා, මහාරාජ, ඉමෙසං ධම්මානං එකතොභාවගතානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං ‘අයං ඵස්සො, අයං වෙදනා, අයං සඤ්ඤා, අයං චෙතනා, ඉදං විඤ්ඤාණං, අයං විතක්කො, අයං විචාරො’’’ති.
එම මිලින්ද ප්‍රශ්නයේ ඇති සදහනේ වචනයෙන්ම ස්පර්ශය සහ වෙදනාව ගැන සඳහන්ව තිබෙනවා. අදාළ කාරණය පහසුවෙන් තේරුම් ගැනීමට උපකාරී වන උපමාවක් ද ඉහත උපුටා දක්වන ලද කොටසට පසුව මිලින්ද ප්‍රශ්නයේ සඳහන්ව තිබෙනවා. එය ද කියවා බලන්න.

ස්පර්ශය සහ වෙදනාව යන ධර්මයන්ගෙන් එකක් මුලින් හට ගනී, අනෙක ඉන් පසුව හට ගනී යැයි කීම ඉහත දක්වන ලද දහම් පද සමඟ ගැළපෙන්නේ නැහැ. එසේ උවත් යම් යම් ස්වාමීන් වහන්සේලා වෙදනාවෙන් වෙන්ව ස්පර්ශය පැවතීම ආදිය ගැන පවසන අයුරු මෑත කාලයේදී මම දැක තිබෙනවා. පහත දැක්වෙන්නේ කොත්මලේ කුමාර කස්සප හිමි එවැනි දෑ පවසන අයුරු දැක්වෙන වීඩියෝවක්:



ඉහත වීඩියෝවේ කියැවෙන කරුණු කිහිපයක් ගැන මට සැක මතුව තිබෙනවා. මට හිතෙන්නේම කුමාර කස්සප හිමි යම් දහම් පද කිහිපයක් නිවැරදි නොවන අර්ථයන්ගෙන් ගැනීම නිසා යම් කාරණාවන් කිහිපයක් නිවැරදි නොවන අයුරින් විස්තර කරන බව. කුමාර කස්සප හිමි සියුම් දහම් පද විස්තර කෙරුමට දක්ෂ බව ද පෙනෙනවා. යම් විටෙක ඒ ස්වාමීන් වහන්සේ සමඟ අදාළ කරුණු ගැන සාකච්ඡා කරන්න ඇත්නම් සුදුසු බවයි මට හිතෙන්නේ.

කමල්

lalantha
Posts: 9
Joined: Sat Mar 17, 2018 11:28 am
Name: Lalantha

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by lalantha » Wed Apr 11, 2018 10:47 am

පින්වත් කමල්,
ඔබේ පිලිතුරට බොහෝ පින්.
එසේනම් ස්පර්ශය හා උපාදානයද කාලයකට ඉඩක් නොතබාම සිදුවන ලෙසට ගතයුතු බව සිතෙයි. එසේ ගැනීම නිවැරදිද?

Kamal
Posts: 9
Joined: Thu Mar 15, 2018 11:41 pm
Name: Kamal Wickramanayake

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by Kamal » Sat Apr 14, 2018 5:14 pm

පින්වත් ලලන්ත,

රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර සහ විඤ්ඤාණ යනු උපාදානයන්ට අරමුණු වන ධර්මයන්. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුත්තයේ ධම්‌මකථිකවග්ගයේ උපාදානිය සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයටම අයත් රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර සහ විඤ්ඤාණ උපාදානයන්ට අරුමුණු විය හැකියි. එආකාරයට පඤ්චෝපාදානස්කන්ධ විස්තර කෙරෙන අයුරු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුත්තයේ අත්තදීපවග්ගයේ ඛන්ධ සූත්‍රයේ දැකිය හැකියි.

එම විස්තරවලට අනුව යම් ස්පර්ශයක් සිදුවන විට එම වර්තමාන කාලයට අදාළ රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර සහ විඤ්ඤාණ යන ධර්මයන් උපාදානයන්ට අරමුණු විය හැකි බව දක්නට පුළුවන්. ඔබ "එසේනම් ස්පර්ශය හා උපාදානයද කාලයකට ඉඩක් නොතබාම සිදුවන ලෙසට ගතයුතු බව සිතෙයි." යැයි අදහස් කරන ලද්දේ එය නම් එය එසේ වේ යැයි කීම නිවැරදියි. තවද අතීත සහ අනාගත යන කාලයන්හි රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර සහ විඤ්ඤාණ ද උපාදානයන්ට අරමුණු විය හැකියි.

පටිච්චසමුප්පාද වශයෙන් ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං යැයි කියනවා. මෙහිදී දැනගත යුතු තවත් කරුණක් නම් සපර්ශය ඇති විට වෙදනාව පැවතියත් වෙදනාව පැවැත්ම හැම විටෙකම උපාදානයට ප්‍රත්‍යය වන තෘෂ්ණාව නූපදවන බව. එසේ නොවුනානම් නිවන් මඟක් පවතින්නත් බැහැ. ඒ නිසා ස්පර්ශය පවත්නා හැම විටෙකම උපාදානය කෙරේ යැයි සැලකීම නිවැරදි නැහැ. වෙදනාව අනිත්‍යයි, දුකයි ලෙස විපස්සනාවෙන් දැක්ම නැති තෘෂ්ණාව නූපදීමටත්, ඇති තෘෂ්ණාව ක්ෂය වීමටත් කරුණු වෙනවා. වෙදනාව හටගත්තත් උපාදාන ලෙස නොගෙන මිදීමේ මඟ එආකාරයෙන් වඩන්න පුළුවන්.

කමල්

lalantha
Posts: 9
Joined: Sat Mar 17, 2018 11:28 am
Name: Lalantha

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by lalantha » Wed Apr 18, 2018 5:41 am

පින්වත් කමල්,
ආයතනයත් රූපයත් විණ්නානයත් යන තුනෙහි එකතුවෙන් ස්පර්ශය ඇතිවෙන බැවින් රූපය තත්ත්වාකාරයෙන් තේරුම්ගැනීමෙන් ස්පර්ශය ඇතිවීම වලක්වාලිය හැකි නොවේද කියා පැනයක් නැගේ. වර්තමාන අවිද්‍යාව මැඩගත හැකිවුවහොත් මෙන්න මෙතනදී අපට මැදිහත් වෙන්න බැරිද වේදනාව දක්වා යාමට ඉඩ නොදී.

Kamal
Posts: 9
Joined: Thu Mar 15, 2018 11:41 pm
Name: Kamal Wickramanayake

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by Kamal » Sun Apr 22, 2018 4:22 pm

පින්වත් ලලන්ත,

රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීම හෝ නොගැනීම මත වර්තමාන ස්පර්ශය ඇතිවීම වලක්වාලිය හැකි යැයි හෝ නොහැකි යැයි කීම නිවැරදි නැහැ. රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගත්තත් නොගත්තත් වර්තමාන ස්පර්ශය හටගන්නවා. වර්තමාන ස්පර්ශය මෙන්ම වර්තමාන වෙදනාව ද එබඳුමයි. රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීම එළැඹි රූපයේ අතුරුදන් විමට හෝ එම පුද්ගලයාගේ රූප දැනීම නොදැනී යෑමට කාරණාවක් නොවෙයි.

ඇසත්, රූපයත් ඇති විට විඤ්ඤාණය ඇති නොවේ නම් ස්පර්ශයේත්, වෙදනාවේත් හටගැන්මක් නැහැ. ඇසත් ඇති විට, රූපයත් ඇති විට ඊට අනුරූප මනසිකාරයක් සිදු නොකළොත් විඤ්ඤාණය හට නොගැනීම නිසා රූපය පෙනෙන්නේ නැහැ. නමුත් ඇසත් ඇති විට, රූපයත් ඇති විට ඊට අනුරූප මනසිකාරයක් කළොත් විඤ්ඤාණය හටගෙන රූපය පෙනෙනවා. අන් ආයතන්ට අදාළ සපර්ශයන් ගැන ද එසේ සලකන්න පුළුවන්. මීට අදාළ විස්තරයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ මූලපණ්ණාසකයේ ඔපම්මවග්ගයේ මහාහත්ථිපදෝපම සූත්‍රයේ (460 පිටුව) සඳහන්ව තිබෙනවා.

යම් පුද්ගලයෙක් කුසල ධර්මයන් වැඩීමෙන් වෙදනා නොමැති ස්වභාවයක් උපයාගෙන වාසය කරනවා නම් සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති ලෙස විස්තර වන එබඳු ස්වභාවයක් තිබෙනවා. ඊට සමවැදීම රහත් ඵලය නොලැබූ සමහර අයටත් පුළුවන් බව ධර්මයේ සඳහන්ව තිබෙනවා. මට මතක ඇති පමණින් ඒ සඳහා අඩුතරමින් අනාගාමී ඵලය වත් ලබා තිබෙන්න ඕනෑ. අනාගාමී ඵලය ලැබූ හැමෝටමත් ඊට සමවැදීමේ හැකියාව නැහැ, සමහර අයට පමණයි එම හැකියාව ඇත්තේ. අවිද්‍යාව සහමුලින්ම දුරු කළත් රහතන් වහන්සේලා හැමෝටමත් ඊට සමවැදීමේ හැකියාව නැහැ, සමහර රහතන් වහන්සේලාට පමණයි එම හැකියාව ඇත්තේ. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තිය පිළිබඳ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ මූලපණ්ණාසකයේ චූළයමකවග්ගයේ චූළවෙදල්ල සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියට සමවදින්න හැකි උතුමන් වහන්සේලා හැමවිටම එසේ වාසය කරනවාය කියා දෙයකුත් නැහැ. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියෙන් නික්මුණු විට වෙදනා හටගන්නවා.

රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීම හෝ නොගැනීම මත වර්තමාන ස්පර්ශය ඇතිවීම වලක්වාලිය හැකි යැයි හෝ නොහැකි යැයි කීම නිවැරදි නැහැ. රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගත්තත් නොගත්තත් වර්තමාන ස්පර්ශය හටගන්නවා. වර්තමාන ස්පර්ශය මෙන්ම වර්තමාන වෙදනාව ද එබඳුමයි.

කමල්

lalantha
Posts: 9
Joined: Sat Mar 17, 2018 11:28 am
Name: Lalantha

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by lalantha » Mon Apr 30, 2018 3:57 am

පින්වත් කමල්, අප වෙනුවෙන් ඔබගේ ඉතා වටිනා කාලය මිඩංගු කරමින් මේ ධර්මය විමසීමට පෘථග්ජන වූ අප ගන්නා වෑයමට ඔබෙන් ලැබෙන අගනා උපදේශයනට අනේක පින්.
ස්පර්ශය ගැන මට හිතෙන්නේ මේ ආකාරයටයි. ස්පර්ශය ඇති නොවෙන තැනක් තියෙන්න මෙන්න මේ ආකාරයට නොහැකි වේවිද?
අඹ ඵලයක් දෙස බැලීමත්  අඹ ඵලයක රූපයක් දෙස බැලීමත් සැලකුවොත් මේ දෙකේ වෙනස අඹ ගෙඩියක ස්පර්ශයක් වීම හා අඹ ගෙඩියක ස්පර්ශය නොවීම විය නොහැකිද?

Kamal
Posts: 9
Joined: Thu Mar 15, 2018 11:41 pm
Name: Kamal Wickramanayake

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by Kamal » Mon Apr 30, 2018 6:09 pm

පින්වත් ලලන්ත,

අඹ ඵලයක් දෙස බැලීමත්, අඹ ඵලයක රූපයක් දෙස බැලීමත් යන බැලීම් දෙක සැලකුවහොත් එම බැලීම් දෙකේදීම ඇස ක්‍රියා කරන්නේ එකම ආකාරයකට. පළමු අවස්ථාවේදී අඹ ඵලය ඇසට පෙනෙන රූපය වෙනවා. දෙවන අවස්ථාවේදී අඹ ඵලයක් ඇති රූපය ඇසට පෙනෙන රූපය වෙනවා. එම අවස්ථා දෙකේදීම ස්පර්ශය හටගන්නවා. නිවැරදිව හඳුනාගන්නා ලද නම් පළමු අවස්ථාවේ අඹ ඵලයක් යන සඤ්ඤාවත්, දෙවන අවස්ථාවේ අඹ ඵලයක රූපයක් යන සඤ්ඤාවත් ලෙසින් සඤ්ඤා වෙනසක් පවතිනවා.

ඇසින් රූපයක් දක්නා විට ස්පර්ශයක් සිදුව මිස සිදු නොවී දැකීම සිදුවීමට ක්‍රමයක් නැහැ. ඇසෙහි ස්පර්ශය හට නොගත්තා නම් එවිට ඇසින් රූපයක් දුටුවා යැයි කියන්න බැහැ. එවිට ඇසින් දුටු දෙයක හඳුනාගැනීමකුත් නැහැ. එවිට ඇසින් රූපයක් දුටු බවට වැටහීමකුත් නැහැ. එවිට ඇසින් කිසියම් හෝ දෙයක් දැක නැහැ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුත්තයේ උපයවග්ගයේ උපාදාන පරිවත්‌ත සූත්‍රයේ වෙදනා සමුදය සහ වෙදනා නිරොධය කෙසේ වන්නේ දැයි විස්තර කර ඇති ආකාරය විමසා බලන්න. තවත සඤ්ඤා සහ සඞ්ඛාර ගැන ද සමුදය සහ නිරොධය කෙසේ වේ දැයි විමසා බලන්න. උපයවග්ගයේ උපාදාන පරිවත්‌ත සූත්‍රයට පසුව ඇති සත්‌තට්‌ඨාන සූත්‍රයේ ද එම කරුණු දකින්න පුළුවන්.

සමහරු මෙසේ සිතනවා: "අඹ ගෙඩියක් පියවි ඇසින් දුටු විට පෙනෙන්නේ එක් ආකාරයකට. එය අන්වීක්ෂයක් තුළින් දුටු විට පියවි ඇසින් නුදුටු ස්වරූපකින් පෙනෙනවා. එසේ නම් පියවි ඇසින් දැක ඇත්තේ අඹ ගෙඩිය පිළිබඳ ඇත්තක් නොවෙයි. සූක්ෂම භාවය වඩා වැඩි වෙනත් අන්වීක්ෂයකින් බැලුවොත් පෙර අන්වීක්ෂයෙන් දුටු ස්වරූපයට වෙනස් ස්වරූපයකින් අඹ ගෙඩිය දකින්න පුළුවන්. එසේ නම් පෙර අන්වීක්ෂයෙනුත් දැක ඇත්තේ අඹ ගෙඩිය පිළිබඳ ඇත්තක් නොවෙයි. යමෙක් අඹ ගෙඩිය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දකී නම් මතුවට දැකිය හැකි තවත් සූක්ෂම භාවයක් නොමැති උපරිම සූක්ෂම භාවයකින් ඒ පුද්ගලයා අඹ ගෙඩිය දකිනවා. එම දැකීම පියවි ඇසින් දැකීම මෙන් නොවේ, එම දැකීම අන්වීක්ෂයක් තුළින් දැකීම මෙන් විය යුතුයි. බාහිර රූපයෙහි ඇත්ත ඇති සැටියෙන් දකින රහතන් වහන්සේ අඹ ගෙඩිය දකින්නේ ඒ ආකාරයෙන්, නොරහත් අප පියවි ඇසින් දකින ආකාරයට නොවේ. නොරහත් අප දකින ආකාරයේ සහ රහතන් වහන්සේ දකින ආකාරයේ එබඳු වෙනසක් තිබෙනවා."

යම් කිසිවෙක් පියවි ඇසින් දැකීම සහ අන්වීක්ෂයකින් දැකීම සලකා රහතන් වහන්සේ ඇසින් දකින ආකාරය යැයි ඉහත ඡේදයේ සඳහන් ආකාරයේ විස්තරයක් කළොත් එය පිළිගත හැකි ද?

කමල්

lalantha
Posts: 9
Joined: Sat Mar 17, 2018 11:28 am
Name: Lalantha

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

Post by lalantha » Tue May 01, 2018 11:58 am

පින්වත් කමල්,
විදු මෙවලම් තුලින් පිරික්සා බැලීමෙන් රූපය පසක් කරගැනීමට දරන තැත ලෝකයේ ඉම සෙවීමට රෝහිතස්ස තවුසා ගත් වෑයමට නොදෙවෙනි විය හැකියි. එය ආර්‍ය මාර්ගය ලෙස සිතීම සුදුසු නොවෙයි.
ලෝකයෙහි අග මුල මෙන්ම සියලුම රූපයද තමන් තුලින්ම දුටුව යුතු බවයි වැටහෙන්නේ.

එහෙම නම් ස්පර්ශය ඇතිවන තැන සිටම නිරෝධ කිරීම සිදු කල නොහැකි දෙයක් ලෙසයි හිතන්නට වෙන්නේ.

Post Reply